ඩයලොග් ආසිආටා විසින් 2026 පාසල් රග්බි වසන්තය බලගන්වයි

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා මෙන්ම මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සමගින් 6වැනි වරටත් අත්වැල් බැඳගනිමින් 2026 ඩයලොග් පාසල් රග්බි වාරය බලගැන්වීමට ඉදිරිපත්ව සිටියි.

ඉකුත් වසරේ සාර්ථකත්වයෙන් අනතුරුව, මෙවර තරගවාරය පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියෙන් ඇරැඹෙන අතර ඒ යටතේ, මෙරට පාසල් රග්බි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පාසල් 16ක් ‘ජනාධිපති කුසලාන’ උදෙසා මාර්තු 11 වැනිදා සිට තරග වදිනු ඇත. ඉන් අනතුරුව අදාළ ලීග් තරගාවලිය ඇරැඹෙනු ඇති අතර ‘ඩයලොග් පාසල් රග්බි ලීග ශූරතාව’ වෙනුවෙන් පාසල් 90උ ක්‍රීඩකයන් 2500කට වැඩි පිරිසක් තරග වැදීමට නියමිතය.

මෙරට විශිෂ්ටතම පාසල් රග්බි දක්ෂතා පිළිබිඹු වන මෙම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අදාළ තරග කොළඹ පිහිටි ස්ථාන කිහිපයක පැවැත්වෙනු ඇත. මාර්තු 11 වැනිදා රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන ශාන්ත පීතර සහ කොළඹ ආනන්ද විදුහල් අතර තරගය සහ ත්‍රිත්ව විද්‍යාලයත් තර්ස්ටන් විදුහලත් අතර සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිටියේදී පැවැත්වෙන තරගයෙන් ඩයලොග් පාසල් රග්බි වාරය ඇරැඹේ. අදාළ තරග දෙකම එදින පස්වරු 4.15ට ඇරැඹීමට සැලසුම් කර ඇත. මාර්තු 13 වැනිදා වෙස්ලි සහ මහානාම විද්‍යාල අතර තරගය රාජකීය විද්‍යාල රග්බි ක්‍රීඩාංගණයේදී පස්වරු 4.15ට ඇරැඹේ.

අනතුරුව මාර්තු 14 වැනිදා ප්‍රේක්ෂකයන්ට උද්වේගකර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් නැරැඹීමට අවස්ථාව හිමිව තිබේ. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය ගැටෙන අතර හැව්ලොක් පිටියේදී ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය තරග කරනු ඇත. අදාළ තරග දෙකම පස්වරු 4.15ට ඇරැඹෙන අතරවාරයේ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය පස්වරු 7.15ට සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිටියේදී ඇරැඹෙනු ඇත.

තරග උණුසුම ඉදිරියට ගෙන යමින් මාර්තු 15 වැනිදා පස්වරු 7.15ට සී.ආර් ඇන්ඩ් එෆ්.සී පිටියේදී විදුලි ආලෝක මධ්‍යයේ ඇරැඹෙන තරගයේදී රාජකීය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල එකිනෙක මුණගැසෙන අතර ශාන්ත තෝමස් සහ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය එදින පස්වරු 4.15 හැව්ලොක් පිටියේදී ඇරැඹීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මාර්තු 21 සහ 22 යන දිනවල පැවැත්වීමට නියමිත අතර අවසන් පූර්ව තරග මාර්තු 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිතය. අප්‍රේල් 4 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී හෝ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයෙන් තරගාවලියේ සමාප්තිය සනිටුහන් කෙරෙනු ඇත.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් විසින්, ThePapare TV (නාලිකා අංක 62 සහ 63) සහ ThePapare TV HD (නාලිකා අංක 126 සහ 127) හරහා Dialog Television ඔස්සේ තරගාවලියේ සජීවී විකාශනය සහතික කිරීමට කටයුතු යොදා තිබේ. එසේම Dialog Play ජංගම යෙදුම සහ ThePapare.com හරහාද තරගාවලිය නැරැඹීමට අවස්ථාව සලසමින්, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන්ට, ආදි ශිෂ්‍යයින්ට, දෙමාපියන්ට, ආධාරකරුවන්ට සහ රග්බි ලෝලීන්ට අඛණ්ඩ සහ පුළුල් ආවරණයක් භුක්ති විඳීමට අවස්ථාව සලසා ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා අදහස් දක්වමින් “හෙට දවසේ ශූරයන් බල ගැන්වීම සඳහා අපගේ ස්ථිර කැපවීමට අනුකූලව, පාසල් ක්‍රීඩා දින දර්ශනයේ වඩාත්ම සුවිශේෂී ඉසව්වක් වන 2026 පාසල් රග්බි වාරය සමඟ සම්බන්ධවීමට ලැබීම ගැන අපි සතුටු වනවා. 2026 තරග වාරය සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට, සහභාගි වන සියලුම පාසල් සිසුන්ට සහ පාසල්වලට අපගේ සුබ පැතුම් පිරිනමනවා.” යනුවෙන් පැවසීය.

“ලීග් තරගාවලිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය යන තරගාවලි දෙකම බලගන්වමින් වසර ගණනාවක් පුරා අඛණ්ඩව සහයෝගය දැක්වීම වෙනුවෙන් ඩයලොග් ආයතනයට ස්තූති කරන්න කැමතියි. පාසල් ක්‍රීඩක‍යන්ට ජාතික මට්ටමෙන් රග්බි ක්‍රීඩාවේ නිරත වෙමින් ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට මෙම තරගාවලිය අවස්ථාව ලබා දෙනවා. මෙම වසරේ තරගාවලිය ඉතා උද්‍යෝගිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතරම තරගාවලිය පුරා ප්‍රදර්ශනය වන විශිෂ්ට ක්‍රීඩාශීලීත්වය සපිරි අවස්ථාවන් මතකයේ රැඳෙනු ඇත. 2026 ඩයලොග් පාසල් රග්බි වාරයට සහභාගිවන සියලුම දෙනාට සුභ පැතුම් එක් කරනවා” යනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) නව සභාපති බුද්ධික අත්තනායක මහතා පැවසීය.

ඩයලොග් ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ e-Sports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. එමෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලියේ සහ පැරා ක්‍රීඩා සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බල ගන්වනු ලබයි. හෙට දවසේ ශූරයන් සවිබල ගැන්වීම සඳහා වන කැපවීමට අනුකූලව, ඩයලොග් විසින් ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි මෙන්ම පාසල් රග්බි සඳහා ද අඛණ්ඩව සහය දක්වනු ලැබේ.

Back To Top