පන්දු වාර 50 ලෝක කුසලානයේ 2007 , 2011 අදියර වලදීත් , විස්සයි විස්ස ලෝක කුසලානයේ 2009, 2012 අදියර වලදීත් අවසන් තරගය තෙක් පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් එක් වරකදී හෝ ලෝක ශූරීන් බවට පත්වීමට ඔවුන්ට නොහැකි වුණා.
2014 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම ගොඩනැගීමේදී නායකත්වය ලැබුණේ දිනේෂ් චන්දිමාල් හටයි. ඔහු යටතේ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලකරත්න දිල්ෂාන්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත් වැනි අත්දැකීම් වලින් පොහොසත් ක්‍රීඩකයින් ගණණාවක් ක්‍රීඩා කළා. නායකත්වයේ වගකීම චන්දිමාල්ගේ පිතිකරණයට සිදු කළේ එතරම් යහපත් බලපෑමක් නොවේ.
ලෝක කුසලානයට පෙර පැවති අවසන් විස්සයි විස්ස තරග නවයේදී ඔහුගේ පිතිකරණ දත්තයන්,
තරග – 9.
ලකුණු – 76.
වැඩිම ලකුණු – 22.
සාමාන්‍ය – 10.8.
ප්‍රහාරක වේගය – 83.
ඉහත දත්ත විචාරකයින්ට එක් ගැටළුවක් නිර්මාණය කළා .
“නායකත්වය නොමැති නම් චන්දිමාල් හට කණ්ඩායමේ ස්ථානයක් දිනා ගත හැකිද ?”
ඒ අනුව 2014 ව්ස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වන විටත් කණ්ඩායමේ චන්දිමාල්ගේ ස්ථානය පිළිබඳව අවිනිශ්චිත බවක් තිබුණා.
2014 විස්සයි විස්ස ලෝක කුසලානය.
මේ සඳහා සත්කාරකත්වයෙන් දායක වුනේ බංග්ලදේශයයි. Super 10 වටයේ පළමු තරග තුනට ක්‍රීඩා කළ චන්දිමාල් හට පන්දුවට පහර දීමට පුළුවන් වුණේ එක් වරයි. එහිදීත් ඔහු අසාර්ථක වුණා. කෙසේ වෙතත් ජයග්‍රහණ දෙකක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට තරම් ඔහුගේ නායකත්වය ශූර වුණා. එංගලන්ත තරගය ශ්‍රී ලංකාව පරාජය වුණා. නියමිත වේලාවට පන්දු වාර ප්‍රමාණය නොයැවීම නිසා ශ්‍රී ලංකා නායකයාට එක් තරගයක් අහිමි වුණා. නවසීලන්තයට එරෙහිව පැවති එම තරගය ශ්‍රී ලංකාවේ කෝණයෙන් ජයගත යුතුම තරගයක් වුණා.
ලසිත් මාලිංග ගේ නායකත්වය යටතේ ලකුණු එකසිය දහ නවයක් සාර්ථකව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. එහි ප්‍රතිඵලයක් විදිහට තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර අතර ස්ථානයක් ඔවුන් වෙනුවෙන් වෙන් වුණා.
අවසන් පූර්ව කඩඉමේදී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් තරඟ වැදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. එම තරගයට සහභාගි වීම සඳහා කිසිදු බාධාවක් නිත්‍ය නායක චන්දිමාල් හට තිබුණේ නැහැ. නමුත් තරගාවලියේ ඉදිරි තරග වලින් ඉවත්වීමට ඔහු තීරණය කළා. ඒ අනුව නායකත්වය තවදුරටත් ලසිත් මාලිංග ගේ වගකීම වන විට අවසන් ක්‍රීඩකයින් එකොළහ තුළ චන්දිමාල්ගේ ආදේශකය වුණේ ලහිරු තිරිමාන්නයි.
කොදෙව් තරඟය ශ්‍රී ලංකාව ලකුණු 27 කින් ජය ගත්තා. ඊට කිරිමාන්නගේ දායකත්වය වුණේ ලකුණු 44 ක් .ඉන්දියාව සමග පැවැති අවසන් ගැටුමේදී නායක මාලිංගගේ තීරණය වුණේ මුලින් පන්දු යැවීමයි. නුවන් කුලසේකර සමඟින් එකතු වී ඉනිමේ අවසන් පන්දු වාර තුනේ Virat Kohli, Yuvraj Singh සහ M.S.Dhoni ගේ ප්‍රහාරය ලකුණු පහළොවක් දක්වා සීමා කිරීමට ඔහුට පුළුවන් වුණා. සංගක්කාරගේ අර්ධ ශතකයෙන් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ලෝක කුසලානයක් ආරම්භ වීමට පෙර සහ පසු ක්‍රීඩකයින් නායකත්වයට සමුදීම බහුල වශයෙන් සිදු වෙනවා. නමුත් ලෝක කුසලානයක් අතරමඟදී , කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරමින් සිටි මොහොතක, ලෝක කුසලානයක් දිනා ගත් නායකයෙක් බවට පත්වීමට තරග දෙකක් දුරින් සිටියදී නායකත්වයෙන් ඉල්ලා අස්වීම ඉතාමත්ම පරාර්ථකාමී තීරණයක්. තීරණාත්මක තරග සඳහා ප්‍රබලම ක්‍රීඩකයින් 11 සමග ඉදිරිපත් වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ චන්දිමාල් ගත් තීරණය නිසයි. 2014 ලෝක කුසලාන ජයග්‍රහණයේ නිහඬ වීරයා ඔහුයි.


