IPL තරගාවලිය විචාරකයින් දකින්නේ හැකියාවෙන් පොහොසත් යොවුන් ඉන්දීය ක්‍රීඩකයින් හට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා නිර්මාණය වූ වේදිකාවක් ලෙසයි . මේ ඔස්සේ ජීවිතය ජයගත් ක්‍රීඩකයින් සංබයාව අති විශාලයි.
Mangesh Yadav, RCB කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තම පළමු IPL අත්දැකීම ලබා ගන්නවා. ඔහු වමත් වේග පන්දු යවන්නෙක්. පැයට කිලෝමීටර් 140 ක පමණ වේගයකින් පන්ඳු යැවීමේ හැකියාව ඔහුට තිබෙනවා. පන්දුව පිතිකරුවා තුළට වගේම, පිතිකරුවා ගෙන් පිටතට දෝලනය කිරීමටත් ඔහු සමත්. යෝකර් පන්දුව සහ වේගය අඩාල කළ පන්දුව ඔහු සතු ප්රබලතම තුරුම්පු දෙකක්. පිතිකරුවෙක් ලෙසත් කණ්ඩායමට දායකවීමට ඔහුට පුළුවන්.
කුඩා අවධියේ සිටම Mangesh ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළා. නමුත් ක්‍රිකට් යනු මිල අධික ක්‍රීඩාවක්. එවැනි ක්‍රීඩාවක් දරා ගැනීමට තරම් මූල්‍ය ශක්තියක් truck රථ රියදුරෙක් වූ ඔහුගේ පියාට තිබුණේ නැහැ. නමුත් Mangesh ක්‍රීඩාව අත්හැරියේ නැහැ. ප්‍රාන්ත ගණනාවකට සංචාරය කරමින් ඔහු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලි වලට සහභාගී වුණා
ඔහු එසේ සිදු කළේ හුදෙක් ක්‍රීඩාවට ඔහු තුළ තිබු කැමැත්ත නිසාම නම් නොවේ .මෙවැනි තරග අවසානයේදී ක්‍රීඩකයින්ට සැලකිය යුතු ගෙවීමක් සිද්ධ වුණා. එම මුදලින් තම එදිනෙදා ජීවිතයේ වියදම් පියවා ගැනීමටත් , නිවසේ ආර්ථිකයට ශක්තියක් වීමටත් ඔහුට පුළුවන් වුණා.
ක්‍රමවත් පුහුණුවක් නොමැතිව වුවත් එම තරග වලදී කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් වුණා. දිනක් ඔහු පන්දු යවන ආකාරය ඔහුගේ මාමාගේ නෙත ගැටුනා. ඔහු ඉක්මනින්ම ගොස් Mangesh ගේ පියා මුණගැසුණා.
“පුතා හරිම දක්ෂයි. ඔහුව ක්‍රිකට් ඇකඩමියකට යොමු කරන්න.” වයස අවුරුදු 16 දී Delhi නගරයේ පිහිටි Wonders ක්‍රිකට් සමාජයට Mangesh ඇතුළත් වුණා. එහිදී ඔහුට Phoolchand Sharma නම් පුහුණුකරුවා මුණ ගැසුනා.
Bhuvneshwar Kumar, Shivam Mavi වැනි ජාතික මට්ටමේ වේග පන්දු යවන්නන් බිහි කළ Phoolchand හට Mangesh ගේ හැකියාව හදුනා ගැනීම අපහසු වුණේ නැහැ. ඒ වගේම Mangesh ආර්ථික වශයෙන් මුහුණ දෙන අපහසුතාත් ඔහු තේරුම් ගත්තා. ඒ නිසා ඔහුට නේවාසික පහසුකම් ලබාදී නොමිලේ ඔහුව පුහුණු කිරිම Phoolchand විසින් සිදු කළා. එම කාලයේදී ඔහුට විශාල වශයෙන් උදව් කළ තවත් එක් චරිතයක් සිටියා. ඒ Tanmay Srivastava. ක්‍රීඩාව සදහා අවශ්‍ය සපත්තු, ඇදුම් ආදිය සපයමින්, නොදන්නා තාක්ෂණික කරුණු කියා දෙමින් සහෝදරයෙක් මෙන් ඔහු හැම විටම Mangesh අසල රැඳුනා.
Utter Pradesh කණ්ඩායම තුළ Mangesh ට ඉඩක් වෙන් කර ගැනීමට Srivastava උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ.
Mangesh ගේ ක්‍රීඩා දිවිය තීරණාත්මක ලෙස නැවතත් වෙනස් වුණේ Anand Rajan ගේ මග මගපෙන්වීම ඔහුට ලැබීමත් සමඟයි.
Anand Rajan යනු,
1. Tanmay Srivastava ගේ මිතුරෙක්.
2. 2005 -2011 කාලය තුළ ඉන්දීය පළමු පෙළ තරග වලට සහභාගී වූ වේග පන්දු යවන්නෙක්.
3. IPL තරග අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්.
” මොහු දක්ෂ වේග පන්දු යවන්නෙක්. මොහුව හොඳින් බලාගන්න . පළමු පෙළ තරග වලට මොහුව යොමු කිරීම සඳහා සැලසුමක් සකස් කරන්න.”
Mangesh ව Rajan ට බාර දෙමින් Srivastava කීවේ එපමණයි.
සැබෑ ලෙසම නිවැරදි සැලැස්මකට අනුව Mangesh ව ක්‍රීඩා දිවියේ ඉදිරියට රැගෙන යෑම Rajan විසින් සිදුකලා.
ඒ අනුව පළමුව ඔහු Madhya Pradesh ප්‍රාන්තයේ MYCC ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළා. දෙවනුව ඔහුට අවස්ථාව ලැබුණේ දිස්ත්‍රික් තරඟ මට්ටම තුලයි. ස්ථාන සඳහා විශාල තරගයක් නොතිබීම තුළ මෙම කණ්ඩායම් වලට පහසුවෙන්ම ඇතුළත් වීමට ඔහුට පුළුවන් වුණා. දිස්ත්‍රික් තරඟ වලදී එක දිගට වසර කීපයක් ඔහු කඩුලු හතළිහ ඉක්මවා දවා ගත්තා. ඒ ඔස්සේ Madhya Pradesh ප්‍රාන්තයේ ප්‍රධාන කණ්ඩායමට ඇතුළත් වීමට ඔහුට පුළුවන් වුණා. 2025 වසරේදී පැවති,
1.MPL ( Madhya Pradesh League.) තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණේ Mangesh.
2.Syed Mushtaq Ali තරගාවලියේදී තුන් ඉරියව්වේම දස්කම් දැක්වීමට ඔහු සමත් වුණා. ඒත් සමගම IPL කණ්ඩායම් කීපයක්ම පුහුණු කඳවුරු සඳහා ඔහුට ආරාධනා කලා.
RCB කණ්ඩායම සමග පැවැති සැසිය අවසානයේදී Dinesh Karthik , Mangesh ගේ පන්දු යැවීම ගැන ඉතාමත්ම ඉහළින් කතා කළා. ඒ නිසා තරග වෙන්දේසියේදී ඔවුන් ඔහු මත ආයෝජනය කිරීම ඔහුට පුදුමයක් වුනේ නැහැ.
මූලිකව Mangesh සංචිතයට එකතු වුණේ තවත් වමත් වේග පන්දු යවන්නෙකු වන Yash Dayal ගේ විකල්ප පන්දු යවන්නා ලෙසයි . නමුත් මේ වන විටත් Dayal මෙවර තරගාවලියෙන් ඉවතට විසිවී අවසන්. ඒ නිසා ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩකයෙක් ලෙස එකතුවීමේ වැඩි ඉඩක් ඔහුට තිබෙනවා.
RCB ජර්සියෙන් සැරසී ක්‍රීඩා පිටියට පිවිසීමට , ඔවුන් වෙනුවෙන් කඩලු දවා ගැනීමට ඔහු සිහින දකිනවා. ඇතැම් තරග වලදී දැඩි ප්‍රහාරයකට ලක්වීමට ඇති හැකියාව ගැනත් ඔහුට අවබෝධයක් තිබෙනවා.
IPL කොන්ත්‍රාත්තුවක් හිමිවීම හේතු දෙකක් නිසා ඔහුට වැදගත්. තවමත් ඔවුන් පදිංචි වී සිටින්නේ කුලී නිවසකයි. මෙම මුදලින් නව නිවසක් ඉදිකිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔහුගේ ක්‍රීඩා දිවිය වෙනුවෙන් වැඩිම කැප කිරීමක් කළේ ඔහුගේ පියායි. ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ලීගයේ කොටස්කරුවෙක් වීම තුළ ඔහුගේ මහන්සියට සාධාරණයක් ඉෂ්ට කිරීමට තමාට හැකි වූ බව Mangesh විශ්වාස කරනවා.


