IPL තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.Play-offs වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට මෙම තරග ජයග්‍රහණය රාජස්ථාන් කණ්ඩායමටත්,ලක්නව් කණ්ඩායමේ ජයග්‍රහණය චෙන්නායි,පංජාබ්,කොල්කටා සහ දිල්ලි කණ්ඩායම් වලට තීරණාත්මක වී තිබූ පසුබිමකයි ඊයේ තරගය ආරම්භ වුණේ.කෙසේවෙතත් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින් Play-offs වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 220ක් රැස් කරමින් තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී ආරම්භක පිතිකරු යුගලය වූ මිචෙල් මාර්ෂ් සහ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 109ක සබදතාවයක් ගොඩ නගමින් ලක්නව් ඉනිමට හොද ආරම්භයක් ලබා දීමට සමත් වුණා.ලක්නව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මිචෙල් මාර්ෂ් ලකුණු 94ක් රැස් කළ අතර ඔහුට ශතකය ලකුණු 6කින් මගහැරී ගියා.ඒ අනුව එම ලකුණු 94 සමගින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමටද මාර්ෂ් සමත් වුණා.
ලකුණු 221ක තීරණාත්මක ලකුණු අභියෝගයක් හඹා යෑමට පිටියට පිවිසි රාජස්ථාන් ඉනිමටද හොද ආරම්භයක් ලබාදීමට නායක යශස්වී ජයිස්වාල් සහ වෛබව් සූර්යවංශි සමත් වුණා.රාජස්ථාන් හඹායෑම තුළ විශේෂිතම ඉනිම වූවේ වෛබව් සූර්යවංශිගේ ඉනිම,ඔහු පන්දු 38කින් ලකුණු 93ක් රැස් කරේ හතරේ පහර 7ක් සහ හයේ පහර 10ක් සමගින්.මිචෙල් මාර්ෂ් පසු කරමින් මෙවර IPL තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමටද සූර්යවංශි සමත් වුණා.ධෘව් ජුරෙල් නොදැවී ක්‍රීඩා කළ ඉනිමත් සමග කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමින් ලකුණු 225ක් ලබාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.මේ වන විට ලීග් වටයේ ඉතිරිව තිබෙන තරග 6ම තීරණාත්මක වී ඇති අතර කණ්ඩායම් 5ක් Play-offs වටයේ ඉතිරිව ඇති එකම ස්ථානය වෙනුවෙන් සටන් කරනවා.
තරගයේ ලකුණු සටහන
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 220යි.
මිචෙල් මාර්ෂ් 96(57),ජොෂ් ඉන්ග්ලිස් 60(29),රිශාබ් පාන්ට් 35(23)
යෂ් පුන්ජා 35/2,ජොෆ්රා ආචර් 39/1
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 3කට ලකුණු 225යි.
වෛබව් සූර්යවංශි 93(38),ධෘව් ජුරෙල් 53(38),යශස්වී ජයිස්වාල් 43(23)
මොහ්සින් ඛාන් 31/1,ආකාශ් සිංග් 54/1

