වමත් ආරම්භක පිතිකරුවෙක් ලෙස ටෙස්ට් තරග 25 කදී ( 2008 – 2015.) Chris Rogers ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළා. ඔහුගේ දක්ෂතා හුදෙක් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වුණේ නැහැ.ඔහු මුලින්ම යොමු වුණේ ටෙනිස් ක්‍රීඩාවටයි . පාපන්දු ක්‍රීඩාව තුළත් ඔහු හපනෙක්. ක්‍රීඩාවේ ක්‍රීඩක භූමිකාවට සමුදීමෙන් අනතුරුව කෙටි කලක් ඔහු විස්තර විචාරකයෙක් ලෙසත් කටයුතු කළා. මීට අමතරව ඔහු සමගින් ක්‍රීඩා කළ බහුතරයක් ක්‍රීඩකයන් විශ්වාස කරන තවත් එක් කරුණක් තිබෙනවා. එනම් ඔහු ඕස්ට්‍රේලියාව තුළ සිටින විශිෂ්ටතම නර්තන ශිල්පියෙක් බවයි.
අපි මේ කතා කරන මොහොත වනවිට 2025 – 2026 තරග වාරයට අදාලව Sheffield Shield තරගාවලියේ අවසන් තරගය Junction Oval පිටියේ දී පැවැත්වෙනවා.දකූණු ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් Victoria කණ්ඩායම එහිදී තරග වදිනවා. Victoria කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ Rogers.
පලමුව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සමගත්, ඉන් පසුව Gloucestershire සහ Somerset ප්‍රාන්ත කණ්ඩායම් සමගත් කටයුතු කළ රොජර්ස් හට Victoria පිළට එකතු වීමේ අවස්ථාව ලැබුණේ 2020 දී. කණ්ඩායමේ ප්‍රධාන විධායකවරයා ඔහු තුළින් ජයග්‍රහණ බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට Rogers ට පැවරුනේ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් පිරිසක් බිහිකිරීමේ අභියෝගයි.
යොවුන් ක්‍රීඩකයින් සමග කිට්ටු පුද්ගලික සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම ඉතාමත් වැදගත් බව Rogers විශ්වාස කළා. ඒ අනුව ඔහු ඔවුන්ට පළමුව මිතුරෙක් , දෙවනුව පුහුණුකරුවෙක් වුණා. මේ තුළ බොහෝ යොවුන් ක්‍රීඩකයින් ගේ උපරිම දක්ෂතා ඉස්මතු කර ගැනීමට ඔහුට පුළුවන් වුණා. 2021, 2022 යන වසර ද්විත්වය තුළම Sheffield Shield තරගාවලියේ අවසන් තරගයට Victoria පිල සුදුසුකම් ලැබුවා. නමුත් ජයග්‍රාහී කඩඉම පසු කිරීමට ඔවුන්ට නොහැකි වුණා.එය Rogers ට කීවේ එක් දෙයයි. එනම් දක්ෂ ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබන ක්‍රීඩකයින් බවට පරිවර්තනය කිරීම සඳහා තවදුරටත් සිදු කිරීමට බොහෝ දේ ඇති බවයි.එය ඔහුට පමණක් තනිව සිදුකළ නොහැකි බව ඔහු වටහා ගත්තා. David Hussey, සහ Graham Manou යන Victoria කණ්ඩායමෙන් ජාතික කණ්ඩායම දක්වා ගමන් කළ ක්‍රීඩකයින් දෙදෙනාගේ සහය ඔහු ලබා ගත්තා.
යොවුන් ක්‍රීඩකයින් සමග තාක්ෂණික ගැටලු ගැන, තරඟ සැලසුම් ගැන ඔහු නිරන්තරයෙන් කතා කලා. තම ක්‍රීඩා දිවියේ අත්දැකීම් ඔහු ඔවුන් සමගින් බෙදා ගත්තා. ක්‍රීඩක සංවර්ධනය ඔහු සෑම විටම දුටුවේ පුහුණුකරුවෙක් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් ලෙසයි. නමුත් එහිදී ක්‍රීඩකයාට පැවරෙන වගකීම පිළිබඳවත් ඔහු ඔවුන් දැනුවත් කළා.
“. ඉක්මනින් ඉගෙන ගන්න. ඉක්මනින් පරිණත වන්න. ක්‍රීඩා දිවීය අවසානයේදී ඔබ ලබන ලොකුම සතුට තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත් බවට ඇතිවන හැඟීමයි”
යොවුන් ක්‍රීඩකයින්ට ඔහු නිතර දුන් අවවාදය එයයි.
මෙවර අවසන් තරඟය සදහා අවසන් ක්‍රීඩකයන් එකළොස්දෙනා නම් කිරීම Victoria පිලට පහසු වුණේ නැහැ. Scott Boland සහ Fergus O Neil කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනායි. තරග වාරයේ වැඩිම කඩුලු ලභියා වන Sam Elliott තුන්වන වේග පන්දු යවන්නා ගේ ස්ථානය දිනා ගත්තා. ඔහු නිසා කණ්ඩායමේ ස්ථානයේ අහිමි වුණේ Mitch Perry හටයි. නමුත් මෙම තෝරා ගැනීම සිදුවන විට Elliott සහ Perry අතර තරග වාරය තුළ තිබුණේ එක් කඩුල්ලක වෙනසක් පමණයි. පිතිකරණ අංශයෙන් අංක තුන ස්ථානය Dylan Brasher වෙනුවෙන් වෙන් වුණත් ඒ සඳහා ඔහුට Blacke Macdonald සමගින් තියුණු තරගයක නිරත වීමට සිදුවුණා. කණ්ඩායමේ ස්ථාන සඳහා ඉහළ තර්කකාරීත්වයක් පැවතීම කණ්ඩායමේ ශක්තිය කියාපාන සාධකයක්.
වර්තමාන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වයසින් වැඩි ක්‍රීඩකයින් ගණනාවක්ම සිටිනවා. ඉදිරි වසර කිහිපය තුළ අනිවාර්යෙන්ම තරුණ ක්‍රීඩක පිරිසකට ජාතික කණ්ඩායමේ දොරටුව විවර වෙනවා. එවැනි මොහොතකදී එම ස්ථාන තමන් සතු කර ගැනීමේ අරමුණින් Campbell Kellaway, Sam Harper, Ollie Peake ,Peter Handscomb ,Will Sutherland, Fergus O Neil, Todd Murphy වැනි යොවුන් වික්ටෝරානු ක්‍රීඩකයින් ගණනාවක් ජාතික පිලේදොරට තට්ටු කරමින් සිටිනවා.
මූලිකව Rogers ට පැවරුණු වගකීම වුණේ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් පිරිසක් Victoria ප්‍රාන්තය තුළ බිහි කිරීමයි. අද වන විට,
1.Victoria කණ්ඩායම යනු ඕස්ට්‍රේලියානු පළමු පෙළ පද්ධතියේ සිටින ප්‍රබල කණ්ඩායමක්.
2.Victoria පිලට ඇතුළත් වීමට ක්‍රීඩකයින් අතර ඇත්තේ තියුණු තරඟයක්.
3.කණ්ඩායමේ ක්‍රීඩකයින් ගණනාවක්ම සිටින්නේ ජාතික කණ්ඩායමට අතේ දුරින්.
ඉහත සියලු කරුණු කියාපාන්නේ අපේක්ෂා කළ මට්ටමටත් එහා ගිය සාර්ථකත්වයක් කරා ළඟා වීමට Chris Rogers නම් පුහුණුකරුවා සමත් වී ඇති බව නොවේද ?


