2026 IPL තරග වාරය වෙනුවෙන් ඉහළම වටිනාකමක් හිමිවූ විදෙස් ක්‍රීඩකයා වන්නේ Cameron Green.KKR කණ්ඩායම නියෝජනය කරමින් ඔහු අද තම පළමු තරඟයට සහභාගි වෙනවා.
ක්‍රීඩා පිටිය තුලත් , ඉන් පිටතත් Green මේ ගත කරමින් සිටින්නේ තරමක දුෂ්කර කාල පරිච්ඡේදයක්. මා එසේ කියන්නේ ඇයි ?
1. නිමාවූ අළු බඳුන තරගාවලියේදී තරඟ පහක ඔහුගේ පිතිකරන සාමාන්‍ය වුණේ ලකුණු විසි හතරක්. එහිදී එක් අර්ධ ශතකයක් හෝ ඔහුගේ පිත්තෙන් වාර්තා වුණේ නැහැ.
2. විස්සයි විස්ස ලෝක කුසලානයේදී ඉනිම හතරක් තුළ ඔහු රැස් කළේ ලකුණු 24යි.
3. ලෝක කුසලානයට මත්තෙන් පාකිස්ථානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේදී Usman Tariq ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතියට පටහැනි බව ඔහු අභිනයෙන් ප්‍රකාශ කළා. අවසානයේදී Tariq ගෙන් සමාව ගැනීමට Green ට සිදු වුණා.
4. මෑතකදී පැවති Sheffield Shield තරඟයක් අතරතුරේදී ඔහු සහ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී Tom Decent අතර මතවාදී ගැටුමක් ඇති වුණා.
වසර හයකට පෙර Green ඕස්ට්‍රේලියානු ටෙස්ට් කන්ඩායමට ඇතුළත් වුණේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසයි. නමුත් ඒ වන විටත් ඔහු ප්‍රධාන ශල්‍යකර්ම තුනකට මුහුණ දී තිබුණා. ජාත්‍යන්තර තරඟ වලට දිගින් දිගටම සහභාගී වන විට එම ආබාධ නැවතත් හිස එසෙව්වා. මේ නිසා පන්දු යැවීම සීමා කිරීමට ඔහුට සිදුවුණා. දත්තමය වශයෙන් ගතහොත් ටෙස්ට් තරඟයකදී ඔහු යවා ඇත්තේ පන්දු වාර 11 ක් පමණයි. එහිදී ඔහුගේ කඩුළු දවා ගැනීම එක් තරඟයකට එක් කඩුල්ලයි.
පන්දු යැවීමේ අංශයෙන් ඔහුගේ දායකත්වය අඩුවන විට පිතිකරුවෙක් ලෙස ඔහුගෙන් වැඩි සේවයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව උනන්දු වුණා. අංක තුන ස්ථානය පවා ඔහුට ලැබුණා. නමුත් එක් ස්ථානයකදී හෝ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනිමට තරම් ඔහුගේ දක්ෂතා ප්‍රබල වුණේ නැහැ . පිතිකරන ඉනිමක් ආරම්භ කිරීමේදී පවත්වා ගත යුතු රිද්මය පිළිබඳව ඔහුට ගැටලු තිබෙනවා. පාද චලනය අතින් ගත්තත් ඔහු සීමා සහිතයි. පිතිකරන සමබරතාවය පවත්වාගෙන යෑම ඔහු මුහුණ දෙන තවත් ගැටළුවක්. ලෝක ටෙස්ට් ශූරතාවයට අදාලව තරග ක්‍රියාත්මක වන විට ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණින් පන්දු යවනන්ට වැඩි වාසි සහිත තනතිලි සෑදීමට බොහෝ රටවල් පෙළඹෙනවා . මෙය සමස්තයක් ලෙස ටෙස්ට් පිතිකරුවන්ගේ කාර්යය අභියෝගාත්මක එකක් බවට පත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව Green මත සිදු කළේ දීර්ඝකාලීන ආයෝජනයක්. නමුත් වසර හයකට පසුව ඕස්ට්‍රේලියාව තුළ ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලකුණු 84 යි.අවසන් වසර තුන තුළ ඔහුගේ පිතිකරන සාමාන්‍ය ලකුණු 28 යි.David Warner , Usman Khawaja වැනි විශේෂඥ පිතිකරුවන් ටෙස්ට් පිටියට සමුදී අවසන්.Steve Smith මේ ගත කරමින් සිටින්නේ තම ජාත්‍යන්තර දිවියේ අවසන් වසර කීපයයි. එවැනි වටපිටාවක් තුළ දක්ෂතා අතර නැති Cameron Green තව වැඩි කාලයක් දරා සිටීමේ හැකියාවක් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවට නැහැ. අනෙක් අතට එළඹෙන මාස දොළහක කාලය යනු ජාත්‍යන්තර වශයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අතිශය කාර්යබහුල කාලසමයක්. එහිදී සාර්ථකත්වය ළඟා කර ගැනීම Green හට අතිශයින් වැදගත්. ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමට ඔහුට IPL තරගාවලිය පාවිච්චි කිරීමට පුළුවන්.
විදෙස් ක්‍රීඩකයින් හට IPL තරගාවලිය තුළ ඉහළ වටිනාකමක් හිමිවීම දෙස
ඉන්දීය ක්‍රිකට් ජේෂ්ඨයින් සෑම විටම බලන්නේ වපර ඇසින් . ඒ අනුව Green හට ලැබී ඇත්තේ කිසිසේත්ම ඔහුගේ දක්ෂතාවයට ගැලපෙන ගෙවීමක් නොවන බව මේ වන විටත් ඔවුන් ප්‍රකාශ කරමින් සිටිනවා. ඔවුන්ට පන්දුවෙන් සහ පිත්තෙන් පිළිතුරු දීමේ අවස්ථාව අද සිට Green හට උදා වෙනවා.


