IPL තරග වාරයක වැඩිම ලකුණු ලබා ගන්නා පිතිකරුවාට හිමිවන ඇගයුම වන්නේ තැඹිලි පැහැ කැපයයි .( Orange Cap.)
විස්සයි විස්ස තරග වලදී කණ්ඩායමක ඉදිරි පෙළ පිතිකරණ ස්ථාන වල ක්‍රීඩා කිරීමට බොහෝ පිතිකරුවන් වැඩි කැමැත්තක් දක්වනවා. එය එසේ වීමට බලපා ඇති හේතු කීපයක්ම තිබෙනවා.
1.වැඩි පන්දු සංඛ්‍යාවකට මුහුණ දීමට හැකි වීම. ඒ ඔස්සේ දිගු ඉනිම ගොඩ නැගීමට වැඩි අවස්ථාවක් ලැබීම.
2. Power Play අවස්ථාව තුළ පන්දුවට පහර දිමේ වාසිය ලබා ගැනීමට හැකි වීම .
ඒ නිසා විස්සයි විස්ස තරග රටාවේ පිතිකරුවෙකු ගේ සාර්ථකත්වය මැනීමට “ලබා ගත් ලකුණු ප්‍රමාණය ” පමණක් මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කලහොත් එහිදී වැඩි වාසියක් අනිවාර්යයෙන්ම ඉදිරි පෙළ පිතිකරුවන් ට ලැබෙනවා. IPL ඉතිහාසයේ තැඹිලි පැහැ කැපය දිනා ගත් පිතිකරුවන් බහුතරයක් ආරම්භක පිතිකරුවන් වීමෙන්ම මෙම කරුණ පැහැදිලි වෙනවා. ( Chris Gayle ,Matthew Hayden, Virat Kohli, David Warner, Shubman Gill, Sai Sudharsan.)
නමුත්,
පිතිකරණ ලයිස්තුවේ පහලින් පැමිනෙන පිතිකරුවන්ට බොහෝ විට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ අඩු පන්දු ප්‍රමාණයක්. එවැනි තත්ත්වයක් තුළ වැඩි ලකුණු සංඛ්‍යාවක්, දිගු ඉනිමක් ඔවුන් ගෙන් බලාපොරොත්තු වීම සාධාරණ නැහැ නමුත් අඩු පන්දු ගණනකදී වුවත් තරගයේ අවසන් තීරණයට තීරණාත්මක බලපෑමක් ( impact .)සිදු කරන ඉනිමක් දියත් කිරිමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. පිතිකරුවකු ගේ දක්ෂතාවය ලකුණු ගිණුමේ වටිනාකමින් පමනක් නිගමනය කිරිමේදී එවැනි ක්‍රීඩකයින් පිළිබඳව නිවැරැදි තක්සේරුවක් සිදු වන්නේ නැහැ.
IPL තරගාවලිය ආරම්භ කරන විට විස්සයි විස්ස තරග රටාව ගැන බොහෝ දෙනෙකුට වැඩි දැනුමක් තිබුණේ නැහැ. නමුත් අද වන විට එය ක්‍රිකට් ලොවේ වේගයෙන්ම ව්‍යාප්ත වන, ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත තරග රටාව බවට පත්ව අවසන්. ඒ නිසා පිතිකරුවෙක් පිළිබඳව අදහසක් ලබා ගැනිමේදී,
1. ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව.
2. ප්‍රහාරක වේගය.
3. පිතිකරණ සාමාන්‍ය
4. එල්ල කොට ඇති හයේ, හතරේ පහර සංඛ්‍යාව වැනි කරුණු කීපයක් සදහා වෙන වෙනම ප්‍රසාද ලකුණු ලබාදී එහිදී වැඩිම එකතුව සහිත පිතිකරුවා තරගාවලියේ විශිෂ්ඨතම පිතිකරුවා විය යුතු බවට මතයක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා .ඒ තුළ සැබෑ ලෙසම සිදුවන්නේ තැඹිලි කැපයේ වටිනාකම තවදුරටත් ඉහළ යෑමයි.

