මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තේරී පත්ව තිබේ.
මෙම තරගාවලිය සඳහා ඇය කැඳවීමත් සමඟ මන්නාරම් දිස්ත්‍රික්කය පමණක් නොව සමස්ත උතුරු නැගෙනහිර පළාතම නියෝජනය කරමින් ජාතික තලයේ ක්‍රිකට් තරගාවලියකට තේරී පත් වූ පළමු කාන්තා ක්‍රීඩිකාව ලෙස සජින්තිනිගේ නම ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත.
තවමත් 21 වැනි වියේ පසුවන සජින්තිනි දකුණතින් වේග පන්දු යවන්නියකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කරන ලද ‘ක්‍රිකට් ගමට’ වැඩසටහන හරහා සිය දක්ෂතා මුවහත් කරගත් ඇය අද ජාතික තලයට පැමිණ සිටින්නීය. ගම්මාන මට්ටමේ දක්ෂතා හඳුනාගෙන ජාතික තලයට ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සජින්තිනි වැනි දක්ෂ ක්‍රීඩිකාවන්ට විශාල අවස්ථාවක් උදාකර දී තිබේ.
මේ අතර, මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ සංචිතයට අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් සිව් දෙනෙකුද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙවර සංචිතයේ නායකත්වය සත්‍යා සන්දීපනීට පැවරී ඇති අතර, තරුණ සහ දක්ෂ ක්‍රීඩිකාවන් රැසකට අවස්ථාව හිමිව තිබේ. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට තවමත් 16 වැනි වියේ පසුවන ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ නායිකා චමුදි ප්රබෝධාද ඇතුළත් වීම විශේෂත්වයකි.
චමුදිට අමතරව, යොවුන් කණ්ඩායම නියෝජනය කළ සංජනා කාවින්දි (17), විමෝක්ෂා බාලසූරිය (16) සහ ලිමන්සා තිලකරත්න (18) ද මෙම සංචිතයට ඇතුළත් වී සිටිති. එමෙන්ම විසි වැනි විය ගෙවා යමින් සිටින විශ්මි ගුණරත්න, රශ්මිකා සෙව්වන්දි, දෙව්මි විහංගා සහ සුමුදු නිසංසලා ද සංචිතයට ඇතුළත් වී සිටිති. මෙම ක්‍රීඩිකාවන් අතරින් විශ්මි ගුණරත්න (එක්දින තරග 34ක් සහ විස්සයි-20 තරග 54ක්), දෙව්මි විහංගා (එක්දින තරග 10ක්) සහ රශ්මිකා සෙව්වන්දි (විස්සයි-20 තරග 6ක්) ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවෝ වෙති.
තරගාවලිය මැයි 12, 15 සහ 18 යන දිනවලදී පෙරවරු 10.00ට ආරම්භ වන අතර සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය – සත්‍යා සන්දීපනී (නායිකා), සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, විමෝක්ෂා බාලසූරිය, ලිහිනි අප්සරා, ලිමන්සා තිලකරත්න, දේව්මි විහංගා, සුමුදු නිසංසලා, රශ්මිකා සේව්වන්දි, පියුමි වත්සලා, රන්දි ප්‍රේමරත්න, සතීෂ්කුමාර් සජින්තිනි, රශ්මි සිල්වා, චමුදි ප්‍රබෝධා, තාරුකා ශෙහානි.

