තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන (Colombo Marathon) තරගාවලිය 2026 සැප්තැම්බර් මස කොළඹදී පැවැත්වෙන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, මෙම ඉසව්ව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ ප්‍රමුඛස්ථානයකට රැගෙන ඒමට ඉවහල් වන බවයි.
දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත මෙම තරගාවලිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වය විදහා දක්වන සාධකයක් ද වනු ඇත.
තරගාවලිය පූර්ණ මැරතන් (කි.මී. 42.195), අර්ධ මැරතන් (කි.මී. 21.097), කි.මී. 10 ධාවන තරගය, කි.මී. 5 විනෝද ධාවනය සහ කි.මී. 1–2 ළමා කුඩා මැරතන් යන අංශ යටතේ පැවැත්වේ. මෙහි තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම් ලත් විනිසුරුවන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශය ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, මලල ක්‍රීඩා සංගමයේ සභාපති බිමල් විජයසිංහ මහතා සහ ජාතික තාක්ෂණික නිලධාරී එච්.ඩී.ජේ. රත්නසූරිය මහතා සහභාගී වූහ.


