ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය හා පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගනිමින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (12) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පවතින ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සමඟ නොගැළපෙන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති පරිදි එම සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතී.
එමෙන්ම, පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණයෙන් තහවුරු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය ගරු කථානායකවරයා වෙත දැනුම් දී ඇති අතර, අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී කථානායකවරයා විසින් එය සභාවට නිල වශයෙන් දැනුම් දෙන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය හා පරිපාලනය තුළ අර්ථවත් මෙන්ම පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉතිහාසය තුළ පාලන හා පරිපාලන ක්ෂේත්රයේ වෙනසක් ඇති කිරීම සඳහා ගනු ලබන වැදගත්ම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ලෙස ද මෙම පනත් කෙටුම්පත සැලකිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි

