ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධානය කරන අන්තර් සංගම් නෙට්බෝල් තරගාවලිය මැයි 23 හා මැයි 24 යන දෙදින පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. නෙට්බෝල් කණ්ඩායම් 29ක් එක්වන මෙම තරගාවලිය වසර 2කට පසුවයි නැවත පවත්වන්නට කටයුතු යොදා තිබෙන්නේ.
මේ තරගාවලිය ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සංවිධාන කරන අතර, මෙමඟින් නැඟී එන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනාගැනීමද මූලික පරමාර්ථයකි.
කාණ්ඩ හතරක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට ‘ඒ’ කාණ්ඩයෙන් රාජ්‍ය සේවා,මහනුවර, පොලොන්නරුව, කෑගල්ල,පාසල් සංගමය, කොළඹ හා කිලිනොච්චිය යන කණ්ඩායම් සහභාගී වන අතර ‘බී’ කාණ්ඩයෙන් පුත්තලම, මහවැලි, මොනරාගල, නිදහස් වෙළෙඳ කලාපය, කුරුණෑගල, ක්‍රීඩා භූමී, මන්නාරම යන කණ්ඩායම් තරග වදිනු ඇත.එමෙන්ම ‘සී’ කාණ්ඩයෙන් කළුතර, බස්නාහිර, ත්‍රිකුණාමලය, විශ්වවිද්‍යාල, නුවරඑළිය, ගාල්ල, මාතර, ගම්පහ සිටින අතර, ‘ඩී’ කාණ්ඩයෙන් වෙෙළඳ සේවා, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර,රත්නපුර, ජනසත්සේවා හා මාතලේ කණ්ඩායම් තරග වදිනු ඇතියි.

