චමරි – විශ්මි ගේ ශතක

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (25) පැවැති හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජය අතර තරගයේදී හලාවත පිලේ නායිකා චමරි අතපත්තු සහ සීනිගම ක්‍රිකට් සමාජයේ විශ්මි රාජපක්ෂ ශතක ලබා ගැනීමට සමත්වූහ.

එම ශතක දෙකම එකම තරගයකදී වාර්තා වීම කැපී පෙනුණු අතර එම හේතුවෙන් සමස්ථ තරගයේදී දෙපිළම ලකුණු 516 ක් රැස් කිරීමට සමත්වීමද විශේෂත්වයක් විය. කෙසේ වෙතත් එම තරගයෙන් හලාවත මෙරියන්ස් පිල ලකුණු 22 කින් ජය වාර්තා කිරීමට සමත් වද්දී සෙස තරග වලදී ගුවන් හමුදා බී, නාවික හමුදා ඒ සහ යුද හමුදා ඒ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ.

නාවික හමුදා “ඒ” ගුවන් හමුදා ඒ තරගය පන්දුවාර 37කටත් යුද හමුදා “ඒ” කෝල්ට්ස් තරගය පන්දුවාර 36කටත් සීමාවූයේ අයහපත් කාලගුණය මත මේ තරග දෙකම ප්‍රමාදව ආරම්භ කිරීමට සිදුවීමෙනි. යුද හමුදා “ඒ” ලකුණු 101කින් කෝල්ට්ස් පරාජය කළ අතර එහිදී යුද හමුදා කණ්ඩායමේ නායිකාව නිලක්ෂි ද සිල්වා පන්දු 58කදී හතරේ අටක් සමග ලකුණු 76ක් රැස්කළාය.

හලාවත මේරියන්ස් – සීනිගම

හලාවත මේරියන්ස්ට ලකුණු 22ක තියුණු ජයක්

හලාවත මේරියන්ස් සහ සීනිගම ක්‍රිකට් සමාජය අතර කටුනායක දී පැවති මේ තරගයෙන් හලාවත මේරියන්ස් තියුණු තරගයකින් පසු ලකුණු 22ක ජයක් අත්කර ගත්තේය.මේරියන්ස් නායිකාව චමරි අතපත්තු පන්දු 72කදී හතරේ 13ක් සහ හයේ පහර පහක් සමඟ ලකුණු 108ක් ලබා මේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ශතකය වාර්ථා කළා ය. එම කණ්ඩායමේ ජනාදි අමාලි ලකුණු 39ක් රැස් කළේ පන්දු 65කට මුහුණ දී හතරේ පහර පහක් සමඟය.

චමරි සහ ජනාදි දෙවැනි කඩුල්ලට පන්දුවාර 19.1කදී එක් කළ ලකුණු සංඛ්‍යාව 160කි. සීනිගම ආරම්භක පිතිකාරිණිය විශ්මි රාජපක්ෂ පන්දු 117කදී හතරේ 13ක් හයේ දෙකක් සමග 112ක් ලැබීය.

හලාවත මේරියන්ස් පන්දුවාර 50කදි කඩුලු 8ට 269 යි – (චමරි අතපත්තු 108, ජනාදි අමාලි 39, සඳුනි නිසංසලා නොදැවී 48, මල්ෂා මධුෂානී නොදැවී 17, කවීෂා දිල්හාරි 66/2, සුලේෂා සත්සරණි 54/2, විහාරා සෙව්වන්දි 62/2)

සීනිගම පන්දු වාර 48.1 කදී සියල්ල දැවී 247 යි – (විශ්මි රාජපක්ෂ 112, ඉමේෂා දුලානි 34, කවීෂා දිල්හාරි 26, තිළිණි නිසංක 49/3, චමරි අතපත්තු 38/3)

යුද හමුදා “බී” – ගුවන් හමුදාව “බී”

යුද හමුදා “බී” පිලට කඩුලු 3ක ජයක්

පනාගොඩ දී පැවති මේ තරගයේ දී ගුවන් හමුදා බී ක්‍රීඩිකාවෝ ලකුණු 157ක් හඹාගොස් පන්දු අටක් ඉතිරිව තිබියදී ජය ලැබීය. යුද හමුදා බී” කණ්ඩායමේ නායිකාව රෝෂීණී පෙරේරා පන්දු 112කට මුහුණ හතරේ හතරක් සමඟ ලකුණු 57ක් ලබා වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුවාය. මීට අමතරව සිතුමිණි පිරීස් පන්දු 60කදි හතරේ පහරක් සමඟ ලකුණු 37ක් ද දිලුෂා හිඳගොඩ ලකුණු 12ක් ද රැස් කළහ. ගුවන් හමුදාවේ ශෂිලා ප්‍රේමරත්න ලකුණු 20කට කඩුලු හතරක් දවාලුවා ය. ගුවන් හමුදා කණ්ඩායමේ රුචී සමරසිංහ පන්දු 80කදී අර්ධ ශතකයක් (52) ලබාගත්තාය.

යුද හමුදා “බී” පන්දුවාර 50කදී කඩුලු 8ට 156යි – (රෝෂීණි පෙරේරා 57, සිතුමිණි පිරිස් 37, දිලුෂා හිඳගොඩ 12, ශෂිලා ප්‍රේමරත්න ලකුණු 20/4, ලංකා මෙන්ඩිස් 23/2)

ගුවන් හමුදා පන්දු වාර 48.4කදී කඩුලු 7ට 160යි – (රුචී සමරසිංහ 52, රශ්මි සිල්වා 32, සකුනි විජේසිංහ 24, ගයනි බණ්ඩාර 25/2, අයේෂා සදමාලි 38/2)

නාවික හමුදාව “ඒ” – ගුවන් හමුදාව “ඒ”

නාවික හමුදා “ඒ” කඩුලු 3ක ජයක්

අයහපත් කාලගුණය මත පන්දු වාර 37 කට සීමාවූ මේ තරගෙය්දී තියුණු ගැටුමකින් පසුව නාවික හමුදා “ඒ”  ජය ලැබුවේ පන්දුවාරයක් ඉතිරිව තිබියදී කඩුලු තුනකිනි.
නාවික හමුදා ජයග්‍රහණයට මුල්වූ ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 79කදී හතරේ පහක් සමග නොදැවී ලකුණු 58ක් ලබාගැනීමට සමත්වූවාය. නාවික හමුදාවේ ඉනෝකා රණවීර ලකුණු 29කට කඩුලු තුනක් බිද දැමුවාය.

ගුවන් හමුදා “ඒ” පන්දු වාර 37කදී කඩුලු 9ට 126යි – (චමරි පොල්ගම්පල 30, යශෝධා මෙන්ඩිස් 27යි, ඉනෝකා රණවීර 29/3, ශෂිකලා සිරිවර්ධන 18/2, උදේශිකා ප්‍රබෝධනී 25/2)

නාවික හමුදා “ඒ” පන්දු වාර 36කදී කඩුලු 7ට 127යි – (ප්‍රසාදී වීරක්කොඩි නොදැවී 58යි, ශෂිකලා සිරිවර්ධන 22, චමරි පොල්ගම්පල 24/2, අමා කාංචනා 13/2)

යුද හමුදා “ඒ”   – කෝල්ට්ස්

යුද හමුදා “ඒ” පිලට ලකුණු 101 ක ජයක්

පන්දුවාර 35 කට සීමාවෙමින් කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී යුද හමුදා “ඒ” නායිකා නිලක්ෂි ද සිල්වා පන්දු 58කදී හතරේ අටක් සමග ලකුණු 76ක් ලබා ගැනීම මත යුද හමුදාවට පහසු ජයක් අත්විය. යුද හමුදාවේ සඳනි ද සිල්වා ලකුණු 16කට කඩුලු තුනක් දවාලමින් කෝල්ට්ස් ඉනිම අඩු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූවාය.

යුද හමුදා “ඒ” පන්දු වාර 36කදී කඩුලු 6කට 174යි – (නිලක්ෂි ද සිල්වා 76යි, සුගන්ධිකා කුමාරි නොදැවී 25, අනුෂ්කා සංජීවනී 20, ඒ.ජනකාන්තිමාලා 12/2)

කෝල්ට්ස් පන්දු වාර 35කදී කඩුලු 8කට 73යි – (ඉරේෂා ශ්‍යාමලී 17, හෝප් ද සිල්වා 13, රංගිකා ප්‍රනාන්දු නොදැවී 10, සඳුනි ද සිල්වා 16/3, ගනේෂා චමරි 13/3)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top