බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු යොවුන් අවසන් මහා සටනට

ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත්වූයේ පාකිස්ථානය,ඉන්දියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් හතරයි.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පාකිස්ථාන යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් කණ්ඩායම අතරයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනූ පකිස්ථාන යොවුන් නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන එක්සත් අරාබි කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු පහක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 193ක් පමණි. එහිදී නායක අෆ්සාල් කාන් පන්දු 57කදී ලකුණු 55ක්ද, ආර්‍යාන්ෂ් ෂර්මා ලකුණු 46ක්ද රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් උබයිඩ් ශාහ් ලකුණු 44 ට කඩුලු හතරක් බිඳ හෙලන්නට සමත් විය.

ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන පාකිස්ථාන යෞවනයන්ට පපන්දුවාර 49 පන්දු 3ක් අවසානයේ දී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 182 ක් පමණි. එහිදී තෙවන කඩුල්ල වෙනුවෙන් නායක සාඩ් බේග් හා අසාන් අවේස් ලකුණු 83ක සබඳතාවයක් ගොඩනගන්නට සමත් විය. නායක සාඩ් බෙග් ලකුණු 50ක්ද අසාන් ලකුණු 41ක්ද රැස්කළ නමුත් සෙසු ක්‍රීඩකයන්ගෙන් එතරම් දායකත්වයක් නොලැබූ නිසා තරඟය පරාජයට පත්වන්නට පාකිස්ථානයට සිදුවිය. ඒ අනුව ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයන් සමත් විය.

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වූයේ ඉන්දීය යොවුන් කණ්ඩායම සහ බංගලාදේශ යොවුන් කණ්ඩායම අතරයි. මේ තරගයේ කාසිය වාසය දිනු බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 188ක් පමණි. එහිදී මුරුගන් අභිෂේක් හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු හැට දෙකක්ද මුෂීර් ඛාන් ලකුණු පනහක්ද රැස් කළහ. පන්දු යැවීමේදී බංලාදේශය වෙනුවෙන් මාරුෆ්මරීඩා ලකුණු හතළිස් එකකට කඩුලු හතරක් දවා ගත්තේය.

ඉලක්කය හඹායාම වෙනුවෙන් පිටියට පිවිසෙන බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 42 පන්දු 5ක් අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 189 ක් රැස් කරමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. එහිදී අගනා ඉනීමක් ක්‍රීඩා කළ අරිෆුල් ඉස්ලාම් පන්දු අනූවකදී හතරේ පහර නමයක් සහ හයේ පහර හතරක් සමගින් ලකුණු අනූ හතරක් රැස්කිරීමට සමත් විය. ඔහුට අගනා සහයක් ලබා දුන් අහ්රහ් අමීන් ලකුණු 44ක් රැස් කළේය. ඒ අනුව යොවුන් ආසියානු කුසලාන අවසන් මහා තරගයකට දෙවන වරටත් සුදුසුකම් ලැබීමට බංගලාදේශ යෞවනයන් සමත් විය.

Back To Top