යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වයට කුමක් සිදුවේවිද ?

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ICCයට අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බව ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය පිළිබඳව ICCය තවමත් තීරණයක් ගෙන නොමැති අතර එම තරඟාවලියේ සත්කාරකත්වය පිළිබඳව නොවැම්බර් 21 වෙනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරනු ඇති බවයි.

ශම්මි සිල්වාට අනුව, ICC උප සභාපති ඉම්රාන් ක්වාජා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදුවිය හැකි දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වා ඇත. “මාස පහකට පමණ පෙර දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ ආරංචියක් ලැබුණු විට ICCය මෙහි පැමිණ පරීක්ෂණයක් පැවැත් වූ බවද ශම්මි සිල්වා පැවසීය. ඉම්රාන් ක්වාජා මහතා ක්‍රීඩා ඇමතිවරයා සහ ජනාධිපතිවරයා හමුවී ඔවුන්ට කියා සිටියේ ඔබ මෙය නිසි ලෙස පාලනය නොකළහොත් ICC එය බැරෑරුම් ලෙස සලකන බවයි. මෙම අත්හිටුවීම දින එකකින් දෙකකින් සිදුවන දෙයක් නොවන බවද ඔහු සදහන් කළේය.

Back To Top