14 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

14 වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය නොවැම්බර් මස 06වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ වොන්ජු හීදී පැවැත්විණි.

කොරියාවෙහි ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය හා ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ නිළධාරීන් දෙදෙනෙකු සහභාගී වූහ. වොන්ජුහි දර්ශනීය Oak Valley නිකේතනයේ දී පැවති මෙම තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලාංකික තරගකරුවන් හට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් එහිදී ලබා ගැනීමට හැකි විය.

එහිදී ශ්‍රී ලාංකේය කායවර්ධන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් විවර කිරීමට සමත් වූ විසි එක් හැවිරිදි තෙනුර ලක්ශාන්, ලෝක කායවර්ධන තරගාවලියක් සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකික කනිෂ්ඨ කායවර්ධන ශිල්පියා ලෙස ඉතිහාසගත විය. එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ මොහු පිරිමි කනිෂ්ඨ අංශයේ කිලෝග්‍රෑම් 75ට වැඩි බර පන්තියෙහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේය.

එමෙන්ම මෙම තරගාවලියෙහි පිරිමි 175cm වැඩි ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශාවින්ද මධුශාන් මූලික වටයේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය. කෙසේ නමුත් එම ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඔහු අපොහොසත් වූයේය.

එසේම නිලූක ඩයස්, මෙම තරගාවලියේ වයස අවුරුදු 40 – 49 අතර Master Bodybuilding ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේය. මූලික වටයේ විශිෂ්ඨ දක්ෂතා පෙන්වීමට සමත් වුවද අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඔහුට නොහැකි විය.

Back To Top