2026 IPL තරගාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර අහ්මදාබාද්හීදී පැවැත්වුණා.
චෙන්නායින් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට නම් ඊයේ තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වුණ වටපිටාවක් තිබුණේ.කෙසේවෙතත් තරගය ලකුණු 89කින් පරාජය වීමත් සමග මෙවර IPL තරගාවලියේ ලීග් වටයෙන්ම ඉවත්වීමට පස් වරක් IPL ශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඊයේ සිදු වුණා.
ඊයේ මුලින්ම පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 229ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.එහිදී වැඩිම ලකුණුලාභියා වූ සායි සුදර්ශන්,නායක ශුබ්මන් ගිල් සහ ඉනිම අවසානයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් අර්ධ ශතක වාර්තා කරා.
ලකුණු 230ක දැවැන්ත ලකුණු අභියෝගයක් හඹා යෑමට පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන්ට සාර්ථක වීමට ගුජරාට් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.හත්වෙනි පන්දුවාරය වන විට ලකුණු 63කට චෙන්නායි කඩුලු 5ක් දවාගනිමින් ආරම්භයේ පටන්ම චෙන්නායි ඉනිම පාලනය කිරීමට ඔවුන් සමත් වුණා.ශිවම් ඩූබේ පන්දු 17කින් රැස් කළ ලකුණු 47 හැරුණුවිට චෙන්නායි පිතිකරුවන්ගෙන් 6දෙනෙක්ම ලකුණු 10 සීමාවටත් පැමිණීමට අපොහොසත් වූ අතර ඉන් පිතිකරුවන් 3දෙනෙක්ම ලකුණු ලබාගැනීමට පෙර දැවීගොස් තිබීමත් විශේෂයි.
තරගය පහසුවෙන් ජයගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට පත් වූ අතර Play-offs සටනේ අවසන් ස්ථානය තවමත් කණ්ඩායම් 4කට විවෘතව පවතිනවා.
තරගයේ ලකුණු සටහන
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 229යි.
සායි සුදර්ශන් 84(53),ශුබ්මන් ගිල් 64(37),ජොස් බට්ලර් 57(27)
මුකේෂ් චෞද්‍රි 36/1,ස්පෙන්සර් ජොන්සන් 47/1,අන්ශුල් කාම්බෝජ් 56/1
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 13.4කදී සියලුදෙනා දැවී ලකුණු 140යි.
ශිවම් ඩුබේ 47(17),මැට් ශෝර්ට් 24(14),අන්ශුල් කාම්බෝජ් 19(8)
මොහොමඩ් සිරාජ් 26/3,රශිඩ් ඛාන් 18/3,කගීසෝ රබාඩා 32/3

