ජාතික උත්තේජන මර්දන නියෝජ්‍යාතනයේ නිල වෙබ් අඩවිය සහ ඖෂධ විමර්ශන ජංගම යෙදුම එළිදැක්වීම අද (21දා) සිදු විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතන ශ්‍රවණාගාරයේ දී එම උත්සවය පැවැත් විය. ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය සිය නිල වෙබ් අඩවිය වන slada.lk සහ SLADA ඖෂධ විමර්ශන ජංගම යෙදුම (DR App) ඒ අනුව එළිදැක්වීය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතා, ක්‍රීඩා වෛද්‍යාතනයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා, ධාවන ශූරී යුපුන් අබේකෝන් මහතා, බර ඉසුලුම් ක්‍රීඩක දිසානායක මහතා, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගන අධිකාරියේ සභාපති රංජිත් විමලරත්න මහතා ඇතුළු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.
වෙබ් අඩවිය එළිදැක්වීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිදු වූ අතර, ජංගම දුරකථන යෙදුම එළිදැක්වීම ධාවන ශූරී යුපුන් අබේකෝන් මහතා, බර ඉසුලුම් ක්‍රීඩක දිසානායක මහතා අතින් සිදු කෙරුණි.
කොළඹ ශ්‍රී ලංකා උත්තේජන් මර්දන නියෝජිතායතනය (SLADA) ක්‍රීඩාවෙන් උත්තේජන භාවිතය තුරන් කිරීමට ඇති ප්‍රධානම ආයතනයයි.
ලෝක උත්තේජන මර්දන සංග්‍රහය (WADA Code) ක්‍රියාවට නංවමින්, SLADA ආයතනය ජාතික, ජාත්‍යන්තර සහ පාසල් මට්ටමින් උත්තේජන පරීක්ෂණ පැවැත්වීම, වැඩමුළු සහ සම්මන්ත්රණ හරහා ක්‍රීඩක දැනුවත් කිරීම, වෛද්‍යමය අවශ්‍යතා සඳහා වන නිදහස් කිරීම් (TUE) කළමනාකරණය, නීති බලාත්මක කිරීම සහ උත්තේජක ප්රවණතා පිළිබඳ පර්යේෂණ සිදු කිරීම වැනි කාර්යයන් ඉටු කරනු ලබයි.
slada.lk වෙබ් අඩවිය හරහා තහනම් ද්‍රව්‍ය, උත්තේජක පාලන ක්‍රියාවලිය, වෛද්‍යමය අවශ්‍යතා සඳහා වන නිදහස් කිරීම් (TUEs) සහ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තා කිරීම වැනි පුළුල් පරාසයක තොරතුරු ලබාගත හැකිය.
මෙයට අධ්‍යාපනික මොඩියුල, බාගත හැකි අයදුම්පත්, ලෝක උත්තේජන මර්දන නියෝජිතායතනයේ (WADA) නවතම යාවත්කාලීනයන් සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට අදාළ මගපෙන්වීම් ඇතුළත් වේ.
මෙමඟින් රට පුරා උත්තේජන මර්දන දැනුවත්භාවය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
SLADA ජංගම යෙදුම මඟින් ක්‍රීඩකයන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට තමන් භාවිත කරන ඖෂධ WADA තහනම් ලේඛනයට ඇතුළත් දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලිය හැකිය. එමඟින් නොදැනුවත්කම නිසා සිදුවන උත්තේජන නීති උල්ලංඝනය වීම් වළක්වා ගත හැකිය.
ඖෂධ ලබා ගන්නා ක්‍රමය (Route of administration) සහ ඒ අනුව එහි තහනම් කර ඇත්තේ කුමන වර්ගීකරණයක් යටතේ ද යන්න පිළිබඳව සෙවීම, තරඟ සමයේ සහ ඉන් පිටතදී (Competition season) ඖෂධ භාවිතයේ පවතින නීතිමය තත්ත්වය දැනගැනීම මෙමඟින් සිදු කළ හැකිය.
මෙහි දී අදහස් දැක් වූ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ තහනම් උත්තේජන භාවිතය පිළිබඳව සමාජය, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාසල් දරුවන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවයි. මෙවැනි ජංගම යෙදවුමක් මගින් එම කාර්ය පහසු කරවන බවත්, ඉදිරියේ දී මෙය පාසල් විශය මාලාව තුළ ඉගැන්වීමට ද අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහා කළේය.
තහනම් උත්තේජන භාවිතය තුරන් කිරීම අවශ්‍ය බවත්, තහනම් උත්තේජන භාවිත නොකර ක්‍රීඩා කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් උනන්දු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.


