New South Wales ක්‍රිකට් කණ්ඩායමේ පිරිහීම.

2020 වසර වන විට New South Wales කණ්ඩායම Sheffield Shield ශූරතාවය දිනාගෙන තිබූ වාර ගණන 47 ක්. ඉන් පසුව උදා වුණේ , අදටත් ගතවෙමින් පවතින්නේ New South Wales ක්‍රිකට් කතාවේ අසීරුතම කාල පරිච්ඡේදයක්.

2020 වසරෙන් පසුව ඔවුන් Sheffield Shield තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා නැහැ. 2022 – 2023 තරග වාරයේදී ඔවුන් එක් තරගයක් හෝ ජය ගත්තේ නැහැ. 2017 වසරෙන් පසුව ක්‍රීඩකයින් විසි හතර දෙනෙක් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කරගෙන තිබෙනවා. මේ අතර New South Wales ක්‍රීඩකයන් සිටින්නේ දෙදෙනෙක් පමණයි.

අවසන් වසර දෙකේදී යම් දියුණුවක් පෙන්නුම් කළත් මෙවර තරග වාරයේදීත් ඔවුන් වාර්තා කළේ ජයග්‍රහණ දෙකක් පමණයි. එහි අවසන් ප්‍රතිඵලය වුණේ කොන්ත්‍රාත් කාලයෙන් වසර එකහමාරක් පමණ ඉතිරිව තිබියදී ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමට Greg Shipperd හට සිදුවීමයි. මෙතැන් සිට කණ්ඩායම ඉදිරියට රැගෙන යාමේ වගකීම Brad Haddin වෙත පැවරී තිබෙනවා.

මෙවැනි කඩාවැටීමකට New South Wales කණ්ඩායම ලක්වූයේ ඇයි?

දක්ෂ තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීම, ඉවසීමෙන් ඔවුන් ඉදිරියට රැගෙන ඒම New South Wales පිලට ගැටලුවක් වී තිබෙනවා. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නවක ක්‍රීඩකයින් මත ඔවුන් එල්ල කරන පීඩනය අතිවිශාලයි. මෙය දරා ගැනීමට නොහැකිව ක්‍රීඩකයින් ගනනාවක්ම New South Wales ක්‍රිකට් පද්ධතියෙන් ඉවත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස මෙවර Sheffield Shield අවසන් තරගය ජයගත් South Australia කණ්ඩායම වැඩි වශයෙන් සමන්විත වුනේ New South Wales ප්‍රාන්තය තුළ තම ක්‍රීඩාව පටන් ගත් ක්‍රීඩකයන්ගෙන්. ( Ben Manenti, Nathan McAndrew, Jason Sangha, Henry Hunt, Liam Scott , Henry Thornson.) මීට අමතරව Hayden Kerr Queensland ප්‍රාන්තයත් , Nathan Ellis, Tasmania ප්‍රාන්තයත් , Blake MacDonald , Victoria ප්‍රාන්තයත් වර්තමානයේදී නියෝජනය කළත් ක්‍රීඩාව තුළ මොවුන් සියලු දෙනාගේ ආරම්භය සිදු වුනේ New South Wales ප්‍රාන්තය තුළයි.

මුදලට යටවී ක්‍රීඩකයින් තේරීමේ කටයුත්ත විනිවිද බවකින් තොරව සිදු කිරීම ගැනත් ප්‍රාන්ත බලධාරීන්ට චෝදනා එල්ල වන්නේ අදක ඊයෙක සිට නොවේ.

Steve Smith, Nathan Lyon, Mitchell Starc, Pat Cummins, Josh Hazlewood වැනි ක්‍රීඩකයින් ජාතික වගකීමට ප්‍රමුඛත්වය දීම තුළ ඔවුන්ට පලමු පෙළ පිටියට පා තබන්නට හැකි වන්නේ ඉතාමත් කලාතුරකින්. මෙයත් New South Wales පිලට අහිතකර ලෙස බලපා තිබෙනවා.

නව ධුරයේ වැඩ බාර ගනිමින් Haddin කාරණා කීපයක්ම සඳහන් කළා.

“. New South Wales කණ්ඩායම තුළ දක්ෂයින්ගේ අඩුවක් නැහැ. එම දක්ෂයින් ජාත්‍යන්තර පිටියට සුදුසු ක්‍රීඩකයින් බවට පත් කිරීමේ අභියෝගය මම භාරගන්නවා. ඉදිරි කාලයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සංක්‍රාන්ති සමයකට ඇතුළත් වෙනවා. එවිට නිර්මාණය වන හිඩැස් වැඩි වශයෙන්ම පිරවිය යුත්තේ අප ප්‍රාන්තයේ ක්‍රීඩකයින් විසින්.”

කෙසේ වෙතත් හිටපු පුහුණුකරු Greg Shipperd එම තනතුරෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් සිටින්නේ සතුටින් නම් නොවේ. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍යයට සඳහන් කොට තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ Haddin සතු පළමු කාර්යය වන්නේ බෙදී තිබෙන කණ්ඩායමක් සමගි කිරීමයි.

Back To Top