NZ20 – විස්සයි විස්ස ලීග් පවුලේ නවතම සාමාජිකයා

විස්සයි විස්ස ලීග් පිටියේ දැවැන්තයා ලෙස සැලකෙන IPL තරගාවලියේ 19 වන අදියර පසුගිය මාර්තු 28 වනදා ආරම්භ වුණා. ඊට පාකිස්ථානයේ පිලිතුර වන්නේ PSL තරගාවලිය යි.එම තරගාවලියත් මේ දින වලදී ක්‍රියාත්මක වෙනවා.

ඉහත සඳහන් තරගාවලි ද්විත්වය ඇතුළු ලොව බොහෝ විස්සයි විස්ස ලීග් තරගාවලි පැවැත්වෙන්නේ Franchise ආකෘතියකට අනුකූලවයි .නමුත් නවසීලන්තයේ ප්‍රමුඛතම විස්සයි විස්ස තරගාවලිය වන Super Smash තරගාවලිය තුල එවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. වසර විස්සක ඉතිහාසයක් සහිත එම තරගාවලිය අදටත් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන්, එරට තුළ පවතින දිස්ත්‍රික් ක්‍රිකට්‌ සංගම් වල එකතුවෙන් පැවැත්වෙන්නේ පලමු පෙළ තරගාවලියක් ලෙසයි. මෙහි ප්‍රධාන අරමුණ යොවුන් නවසීලන්ත ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමට පහසුවෙන් ඇතුළත් වීම සදහා වේදිකාවක් නිර්මාණය කර දීමයි. මුදල් ගැන මෙහිදී වැඩි අවධානයක් යොමු වන්නේ නැහැ. ඒ නිසා මෙම තරගාවලිය ප්‍රධාන අවාසි දෙකකට මුහුණ දෙනවා.

1. වැඩි මුදලක් උපයා ගැනිමේ අරමුනින් ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් මෙම තරගාවලිය පවතින කාලයේදී පවා වෙනත් ලීග් තරගාවලි වලට ක්‍රීඩා කිරීම

2. විදෙස් ක්‍රීඩකයින් තරමක් අඩුවෙන් Super Smash තරගාවලියට එකතු වීම තරුණ නවසීලන්ත ක්‍රීඩකයින් ගේ වර්ධනයට, ඔවුන්ගේ පරිනත වීමේ ක්‍රියාවලියට සිදු කරන්නේ අහිතකර බලපෑමක්.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දිනවල Big Bash තරගාවලිය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක නිරත වෙනවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමකටත් තරගාවලිය සමගින් එකතු වන ලෙස ඔවුන් ආරාධනා කළා. මේ පිළිබඳව නවසීලන්ත ක්‍රීඩා ලෝලීන් නම් බොහෝ සෙයින් සතුටු වුණා. නමුත් ,

1.Big Bash තරගාවලියට සහභාගි විය හැක්කේ එක් කණ්ඩායමකට පමණයි. එම සංචිතයට ඇතුළත් වන ක්‍රීඩකයින් ගණන 18 ක්.

2. Super Smash තරගාවලියේ එක් සංචිතයක ක්‍රීඩකයින් විස්සක් සිටිනවා. එවැනි සංචිත හයක් තරඟාවලිය නියෝජනය කරනවා.

ඒ අනුව Big Bash තරගාවලියට එකතු වීම තුළින් යොවුන් නවසීලන්ත ක්‍රීඩකයින්ට විශාල අසාධාරණයක් සිදුවන බවත්, පහළ මට්ටමේ ක්‍රීඩාවේ දියුණුවට එය විශාල බාධාවක් බවත් නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් විශ්වාස කලා. ඒ අනුව එම යෝජනාව ඔවුන් ප්‍රතික්ෂේප කළා.

2027 වසර ආරම්භයේ සිට NZ20 නමින් නවතම Franchise විස්සයි විස්ස තරගාවලියක් ආරම්භ කිරීමට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංකල්පමය වශයෙන් එකඟ වී තිබෙනවා.

මෙය දැනට පහත පරිදි සැලසුම් වී තිබෙනවා.

1. පළමුව නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බලපත්‍රයක් ඔස්සේ මෙම තරඟාවලියට අනුමැතිය ලබාදිය යුතුයි.එම බලපත්‍රය ලැබෙන්නේ දැනට තරගාවලියේ ඉදිරි කටයුතු ගැන සොයා බලන ස්වාධීන කමිටුවකටයි.

2. එම බලපත්‍රය ලැබීමත් සමග සමස්ත තරගාවලියම එක් ආයෝජකයෙකුට විකිණීමේ බලයක් මෙම කමිටුවට ලැබෙනවා. මෙම විකිණීම තුළ තරගාවලියේ වැඩි අයිතිය ලැබෙන්නේ ආයෝජකයාටයි. සුළුතර අයිතිය නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය , නවසීලන්ත ක්‍රීඩකයින්ගේ සංගමය සහ නවසීලන්ත දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් අතර බෙදී යනවා.

3. කණ්ඩායම් මිලදී ගැනීම සඳහා දැනටමත් පාර්ශව විස්සක් පමණ කැමැත්ත පලකොට තිබෙනවා. මේ අතර IPL කණ්ඩායම් වල හිමිකරුවන්ද සිටින බවට වාර්තා වෙනවා.

4. ලීගයට සහභාගී වන කණ්ඩායම් ගණන හයක්. සෑම වසරකම ජනවාරි මාසයේ සිට සති හතරක කාලයක් තරගාවලිය පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් එම මාසයේදී දැනටමත් BBL , SA20, ILT20 වැනි විස්සයි විස්ස තරඟාවලි කීපයක්ම ක්‍රියාත්මක වීම තරගාවලියට අවාසිදායක වන්නට පුළුවන්.

මෙවැනි තරගාවලියකින් නවසීලන්තයට අත්වන වාසි මොනවාද ?

පුද්ගලික ආයෝජකයින් කණ්ඩායම් මිලදී ගැනීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් තරගාවලියට එකතු වෙනවා. ඒ නිසා වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙකුට සරිලන මුදලක් ගෙවීමට පුළුවන්කම ලැබෙනවා. නවසීලන්ත ක්‍රීඩකයින් එරට ක්‍රිකට් පද්ධතිය තුළ රදවා ගැනීමට වගේම විදෙස් ක්‍රීඩකයින් වැඩි සංඛ්‍යාවක් ලීගයට ආකර්ෂණය කර ගැනීමටත් මෙය රුකුලක් වෙනවා. විදෙස් ක්‍රීඩකයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට නවසීලන්ත යොවුන් ක්‍රීඩකයින්ට හැකිවීමම එරට ක්‍රිකට් පද්ධතිය ලබන විශාල ජයග්‍රහණයක්.

Back To Top