ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේදී පැවැත්වේ

ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

දෙරටේ ශ්‍රව්‍යාබාධිත ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය සහ සහෝදරත්වය ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් සංවිධානය වූ මෙම සුවිශේෂී තරගාවලියේදී ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් අමාත්‍යවරයා නිල වශයෙන් තරගය නැරඹීමට එක් විය.

තරග 05කින් යුත් මෙම සමස්ත තරගාවලියේ අවසන් තරගයෙන් සහ තරගාවලි ජයග්‍රහණය 5-0ක් ලෙස වාර්තා කිරීමට සංචාරක ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම සංචාරයේදී අමාත්‍යවරයාගේ සෘජු අවධානය ක්‍රීඩාංගනයේ පවතින යටිතල පහසුකම් වෙත ද යොමු වූ අතර, එහි පවතින අඩුපාඩු සකස් කරමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ලබා දෙන ප්‍රමුඛතාවය සනාථ කරමින් අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවට අමාත්‍යවරයා මෙහිදී සහතික විය.

තරගාවලිය පුරා දැක්වූ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩිකාවන් මෙසේය:

හොඳම පන්දු යවන්නිය: චුන්දනී ඛාන් (Chundani Khan – ඉන්දියාව)

හොඳම පිතිකාරිය: නීඩා ෂාබි ෂයික් (Needa Shabi Shaik – ඉන්දියාව)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව (Player of the Series): රෙඩ්ඩි ජයිෂ්නු (Reddy Jaishnu – ඉන්දියාව)

තරගාවලියේ සාර්ථක නිමාව සලකුණු කරමින් පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් මෛත්‍රී කුල්කර්ණි (Maithri Kulkarni) මහත්මිය සහභාගී වූවාය.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා, මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතා, ඉන්දීය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති සුමිත් ජේන් (Sumit Jain) මහතා මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති මොහොමඩ් නයිසර් මහතා ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

Back To Top