ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් දේශීය රග්බි ක්‍රීඩාවේ ප්රමිතීන් සහ ක්‍රීඩක අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන තිබෙනවා.
ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එල්ල වූ පැමිණිලි සම්බන්ධයෙන් විනය කමිටුව විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ, ශ්‍රී ලංකා රග්බි විධායක සභාව සහ කවුන්සිලය විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.
මෙම පරීක්ෂණය ආරම්භ වූයේ ක්‍රීඩකයෙකුගේ කොන්ත්‍රාත්තුව අසාධාරණ ලෙස අවලංගු කිරීම සහ ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවීම පිළිබඳව ලද පැමිණිල්ලක් පදනම් කරගෙනය. නීති වෘත්තිකයන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලය විසින් සිදු කරන ලද විමර්ශනයේදී කොන්ත්‍රාත්තු බැඳීම් කඩකිරීම, ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට නියමිත වේතන නොගෙවීම සහ මූල්‍ය වගවීම සහ වෘත්තීය ප්රමිතීන් පිළිබඳ ගැටලු අනාවරණය වී තිබෙනවා.
ක්‍රීඩක සුබසාධනය සහ වෘත්තීය මට්ටම ආරක්ෂා කිරීම සඳහා, ශ්‍රී ලංකා රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය වෙත නව කොන්දේසියක් පනවා තිබෙනවා.
එම ක්‍රීඩා සමාජයට ඉදිරි ‘A’ කාණ්ඩයේ තරඟාවලි සඳහා සහභාගී වීමට නම්, රුපියල් 4,500,000 ක මුදලක් ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත ඇප තැන්පතුවක් ලෙස තැබිය යුතු වනවා
මෙම පියවර මගින් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය වැනි පාර්ශවයන්ට සිදුවන මූල්‍යමය අසාධාරණයන් වැළැක්වීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම තීරණය කිසිදු ක්‍රීඩා සමාජයක් අඩපණ කිරීමට ගත් පියවරක් නොවන බවත්, දේශීය රග්බි ක්‍රීඩාවේ මූල්‍ය විනය සහ වගකීම තහවුරු කිරීමට ගත් උත්සාහයක් බවත් ශ්‍රී ලංකා රග්බි ආයතනය පවසනවා.

