ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්වය වෙනුවෙන් කිලෝමීටර් 3,500ක පාපැදි සවාරියක්!

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘Maitri Setu Yatra’ ඉන්දු – ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) පාපැදි සවාරිය ඊයේ (15දා) පැවැත් විය. එහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.

2026 නොවැම්බර් මාසයේදී ආරම්භ කර 2027 ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පාපැදි සවාරිය කොළඹ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර දක්වා කිලෝමීටර් 3,500ක දුරක් ආවරණය කරයි.

මෙම ගමන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපැදිකරුවන් 10 දෙනෙකු සහ ඉන්දියාව නියෝජනය කරමින් පාපැදිකරුවන් 14 දෙනෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වීමට නියමිතය. ඒ අතර කාන්තා ශිෂ්‍යභට සාමාජිකාවන් 10 දෙනෙකු ද ඇතුළත් වේ.

සවාරියේදී ශ්‍රී ලංකාව තුළ කිලෝමීටර් 500ක් සහ ඉන්දියාව තුළ කිලෝමීටර් 3,000ක් ආවරණය කිරීමට සැලසුම් කර තිබේ. ඉන්දියාවේ ප්‍රාන්ත සහ මධ්‍යම පාලන ප්‍රදේශ 11ක් හරහා මෙම ගමන සිදුකෙරෙන අතර, දෙරටේ ශිෂ්‍යභට සාමාජිකයන් අතර මිත්‍රත්වය, කණ්ඩායම් හැඟීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

මෙම ගමනේ අවසන් අදියර සනිටුහන් කරමින් 2027 ජනවාරි මාසයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) ප්‍රධාන රැලියේදී මෙම කණ්ඩායම පිළිගැනීමට නියමිතය.

මෙය හුදෙක් පාපැදි සවාරියක් පමණක් නොව, දෙරටේ තරුණ පරපුර අතර මිත්‍රත්වය, විශ්වාසය සහ සහයෝගීතාව ගොඩනැගීමේ ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහනක් ලෙස ද වැදගත් වේ.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Back To Top