නැගී එන තරු කිරුළේ බලාපොරොත්තු කරපින්නාගත් පවන්ගේ කණ්ඩායම කටාර් යයි

කටාර්හි දෝහා නුවරදී නොවැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) නැගී එන තරු පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (16) කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. තරගාවලියට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති සර්ව ආගමික වතාවත්වලට එක්වූ කණ්ඩායම, අනතුරුව සිය සංචාරය ආරම්භ කළේ මෙවර තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වීමේ අපේක්ෂාවෙනි.

කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති පවන් රත්නායක සිය කණ්ඩායමේ සූදානම පිළිබඳව සුබවාදී අදහස් පළ කළේය. “ඇත්තටම ගොඩක් සතුටුයි. කණ්ඩායමක් විදියට අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. අවසන් දින කිහිපයේදීත් අපි පුහුණුවීම් කළා. මම හිතන්නේ හැමෝම හොඳ මානසිකත්වයකින් ඉන්නේ. තණතීරුවල තත්ත්වය ගැන අවබෝධයක් ලබාගන්න වෙන්නේ එහෙට ගියාට පස්සේ. එහිදී පුහුණු සැසි කිහිපයකටත් සහභාගි වෙන්න තියෙනවා.
මගේ සාමාන්‍ය ක්‍රීඩා විලාසයෙන්ම ක්‍රීඩා කරමින් කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික වටයේ තරග තුනම හොඳින් ක්‍රීඩා කරලා කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගෙන පියවරෙන් පියවර ඉදිරියට යාම තමයි අපේ අරමුණ” යැයි පවන් සඳහන් කළේය.
මේ අතර, කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අශාන් ප්‍රියන්ජන් පැවසුවේ පසුගිය මාසය පුරාම ක්‍රීඩකයන්ට හොඳ පුහුණු සැසි කිහිපයක් ලබාදීමට හැකි වූ බවයි.
විශේෂයෙන්ම ක්‍රීඩකයන් බොහෝ දෙනකු වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව ක්‍රීඩා කර තිබීමත්, එහිදී සුදු පන්දුවෙන් ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාවත් මෙම තරගාවලියට සූදානම් වීමේදී වැදගත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
“මම හිතන්නේ ක්‍රීඩකයන් හොඳ පුහුණු මට්ටමක ඉන්නවා. පසුගිය වසරේත් අපේ කණ්ඩායමක් කටාර්හි ක්‍රීඩා කළා. අපට ලැබී තිබෙන තොරතුරු අනුව එහි තණතීරු තරමක් මන්දගාමී ස්වභාවයක් ගන්නවා. ඕමානයේ තණතීරුත් මීට පෙර එවැනි ස්වභාවයක් ගත්තා. නමුත් අවුරුදු 19න් පහළ තරගාවලියේ තරග නිරීක්ෂණය කළ විට තණතීරු හොඳ තත්ත්වයක තිබෙන බව පෙනුණා.

ඒ නිසා අපි සියලු තත්ත්වයන්ට මුහුණදීමට සූදානම් වෙලයි ඉන්නේ. ඕනෑම කණ්ඩායමක් තරගයේ දවසේදී හොඳින් ක්‍රීඩා කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපේ කණ්ඩායමටත් හොඳ තරගයක් ලබාදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” යැයි අශාන් ප්‍රියන්ජන් වැඩිදුරටත් පැවසීය.
ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කර අත්දැකීම් ලබා ඇති ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය සහ ජනිත ලියනගේ වැනි ක්‍රීඩකයන් ඇතුළත් වන අතර, නැගී එන දක්ෂතා සහිත ක්‍රීඩකයන් රැසකට ද ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාගැනීමට මෙය හොඳ අවස්ථාවකි.

කණ්ඩායම් අටක් සහභාගි වන මෙම දින 11ක තරගාවලිය එක්දින (List A) තරග රටාවට අනුව පැවැත්වේ. කණ්ඩායම් ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර, ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත. එම කාණ්ඩයට බංග්ලාදේශ ‘ඒ’, ඇෆ්ගනිස්ථාන ‘ඒ’ සහ හොංකොං කණ්ඩායම් ඇතුළත් වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නොවැම්බර් 19 වැනිදා ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට එක්වන අතර, එය දෝහාහි වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 21 වැනිදා හොංකොං කණ්ඩායම සමඟ දෙවැනි තරගයට එක්වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, නොවැම්බර් 23 වැනිදා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මූලික වටයේ අවසන් තරගයට සහභාගි වනු ඇත. දෙවැනි තරගය පෙරවරු 11.30ටත්, තෙවැනි තරගය පස්වරු 3.30ටත් ආරම්භ වේ.
මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, එම තරග නොවැම්බර් 26 සහ 27 යන දිනවල පැවැත්වේ. අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා වෙස්ට් එන්ඩ් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම: පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මධුෂ්ක, නිපුන් ධනංජය, චාමික හීනටිගල, ජනිත ලියනගේ, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ළහිරු සමරකෝන්, ගරුක සංකේත්, දුලාජ් සමුදිත, දුවිඳු රණතුංග, වනුජ සහන් සහ ශරූජන් ෂන්මුගනාදන්.

Back To Top